Friday, December 23, 2016

එන්ජින් ඔයිල් ගැන දැනගනිමු

ඔයාගේ වාහනේට දාලා තියන එන්ජින් ඔයිල් එක මොකක්ද? ඔව් වාහන හිමියෙක් වුනාම ඒක නොදැන ඉන්න විදිහක් නෑ. හැබැයි ඔයා වාහනේට දාලා තියෙන්නෙ වාහනේට ගැළපෙන හරිම එන්ජින් ඔයිල් එකද? කවුද වාහනේට එන්ජින් ඔයිල් දැම්මෙ? ඔව් සර්විස් එකේදි තමයි දැම්මෙ. හැමදාම උදේට ඔයිල්කූර චෙක් කරාට විතරක් මදි. එන්ජින් ඔයිල් ගැනත් දැනගෙන ඉන්න ඕන. හරි අද අපි කතා කරමු අන්න ඒ ගැන.
Viscosity
ඒ කියන්නෙ උකුගතිය. මේක රේට් වෙන්නෙ ෆැරන්හයිට් අංශක 0 දි උකුගතියද W අකුරෙන් Winterද සහ ෆැරන්හයිට් අංශක 212 දි උකුගතිය ලෙසයි. ඒ අනුව 10W-30 යනු ෆැරන්හයිට් අංශක 0 දි 10 ද ෆැරන්හයිට් අංශක 212 දි 30ක් ලෙසයි. එලෙස ගත් කළ 10W-30 ඔයිල් එකට වඩා 20W-50 ඔයිල් එකේ උකුගතිය වැඩිය. මොකද උකුගතිය වැඩි වන්නට ඔයිල් එකට සීතල හෝ උෂ්ණත්වය දරා ගැනීමේ හැකියාව වැඩිය. දැන් රේට් වෙන විදිහ තේරෙනවා ඇති කියලා හිතනවා.
ඒවගේම ඔයිල් එක රත්වන විට උකුගතිය අඩුවන අතර ඔයිල් එක සීතල වන්නට උකුගතිය වැඩිය. ඉතින් අපට වඩාත් වැදගත් වන්නේ ඔයිල් එක උකුවන තරමටය. මොකද ඔයිල් එකේ උකුගතිය අඩුවුවහොත් එන්ජින් කොටස් අතර ලිහිසි ගතියද අඩුවේ. ඒ නිසා අප වඩාත් සැළකිය යුත්තේ රේටින් එකේ දෙවන නොම්බරයයි. මොකද ඒකෙන් තමයි උෂ්ණත්වය කොච්චර දරාගන්න පුලුවන්ද කියලා පෙන්වන්නෙ. හැබැයි අනවශ්‍ය ලෙස උකුවීමෙන් ක්‍රෑන්ක් ෂාෆ්ට් එකට කැරකීමට වැඩිබලයක් අවශ්‍යවේ. ඒ විතරක් නෙවෙයි වාහනේ ස්ටාර්ට් කරන්න අපහසු වෙනවා වගේම ඉන්ධන දහනයත් වැඩියි. ඒනිසා ඔයිල් සිසිල් වීමේදී උකුගතියත් බැලිය යුතුය.
දැන් අපි උදාහරණයක් බලමු. වාහනේ එන්ජිම ස්ටාර්ට් කරාම ඔයිල් රත්වෙන්න පටන්ගන්නවා. 10W-40 සහ 10W-30 යන ඔයිල් වර්ග දෙකෙන් 10W-30 ඔයිල් එකට වඩා 10W-40 ඔයිල් එකට ඉහළ උෂ්ණත්වයේදී උකුගතිය තබාගත හැක. මොකද එහි viscosity rating එකේ දෙවනි අගය 10කින් වැඩිය.
ඔයිල් කඩේකට ගිහින් බලන්න රක්කවල කොච්චර ඔයිල් වර්ග තියනවාද කියලා. විවිධ අරමුණු සඳහා විවිධ වර්ගයේ වාහන වලට ආපු ඔයිල් වර්ග පිරිලා. high-tech engines, අලුත් වාහන, දුර දුවන වාහන, බර වාහන, off-road SUVs, පෙට්‍රල් ඩීසල් වාහන මේවගේ විවිධ වාහන වලට ගැළපෙන ලෙස ඔයිල් වර්ග වෙළඳපලේ තියනවා. මේ ඔක්කොම ප්‍රධාන වශයෙන් කොටස් වෙන්නෙ viscosity එක අනුවයි. ඊට අමතරව තරමක් මිලෙන් අධික වාහන නිශ්පාදකයා විසින්ම නිපදවන ඔයිල් වර්ගත අපිට ගැනීමේ හැකියාව තියනවා.
මොනවද මේ විවිධ ඔයිල් වර්ග
Premium Conventional Oil
මේක තමයි අලුත් වාහන වලට දාන ඔයිල් එක. මේ වර්ගය යටතේ අඩු උෂ්ණත්වය සඳහා 5W-20 හෝ 5W-30 යන ඔයිල් වර්ගද ඉහළ උෂ්ණත්වය සඳහා 10W-30 ඔයිල් එකද එනවා. මේ ඔයිල් එක දාන්නෙ සැහැල්ලු වාහන වලට. ඒවගේම තමයි මේ ඔයිල් එක සහ ඔයිල් ෆිල්ටර් එක සෑම සැතපුම් 4000කට සැරයක් මාරුකළ යුතුයි.
Full Synthetic Oil
මේ ඔයිල් එක දාන්නෙ high-tech engines වලට. Mercedes-Benz, BMW මේ එන්ජින් ගණයට අයත් වෙනවා. මේ ඔයිල් වර්ගය ඉතා උසස්, දිගුකාලීන මෙන්ම කාර්යක්ෂමතාවයෙන්ද උපරිමයි. මේ ඔයිල් අඩු උෂ්ණත්වයේ හොඳින් ගලායන අතර ඉහළ උෂ්ණත්වයේදී ලිහිසි ගුණය හොඳින් ආරක්ෂා කරයි. ඒවගේම තමයි මේ ඔයිල් එක මිලෙනුත් අධිකයි.
Synthetic Blend Oil
synthetic ඔයිල් සහ organic ඔයිල් මිශ්‍රකළ ඔයිල් එකක් තමයි මේක. මේ ඔයිල් එක බර වාහන වලට වගේම අධික උෂ්ණත්වයට ගැළපෙනවා. ඒ කියන්නෙ මේ ඔයිල් එකේ වාෂ්පශීලී ගුණය අඩුයි. ඒනිසා ඔයිල් ලේසියෙන් අඩුවෙන්නෙත් නෑ. ඒනිසාම මේ ඔයිල් එක pickups/SUVs වලටත් භාවිත වනවා. මේ ඔයිල් එක full synthetic ඔයිල් එකට වඩා මිලෙන් අඩුයි.
Higher Mileage Oil
මේ ඔයිල් එක දුර දුවපු වාහන වලට ගැළපෙනවා. සාමාන්‍යයෙන් සැතපුම් 75000ට වඩා දුවපු වාහන වලට තමයි මේ ඔයිල් එක හොඳ. අලුතෙන් ගත්ත වාහනේ වගේ නෙවෙයි දුවලා දුවලා එන්ජිම පදම් වුනාට පස්සෙ ඔයිල් බින්දු 2-3 ගරාජ් එකේ බිම වැටෙන කාලෙ වෙනකොට එන්ජිම ඇතුලෙන් ගත්තොත් ක්‍රෑන්ක් ෂාෆ්ට් සීල් හොඳටම තදවෙලා, ඒවගෙ නම්‍යශීලී ගුණය නැතිවෙලා. ඉතින් higher Mileage ඔයිල් වල අඩංගු seal conditioners වලට පුලුවන් ඒ සීල්වල සිදුරු වහලා නැවත සීල් එකේ හැඩය යතා තත්වයට ගෙනැල්ලා නැවත නම්‍යශීලීතාවය වැඩිකරන්න. ඉතින් ලීක් එකත් අඩුවෙලා යනවා. ඒවගේම මේ ඔයිල් එකේ viscosity එකත් වැඩියි. මේ ඔයිල් එකේ ප්‍රතිඵල මොනවද? piston-to-cylinder clearances වැඩිකරනවා. ඊට අමතරව මෙහි අඩංගු antiwear additives, ගෙවීමේ ක්‍රියාවලියේ වේගය අඩුකරනවා.
ඒවගේම මේ ඔයිල් වල performance වැඩි කරන්න oil additives තියනවා. ඒ ගැන අපි ඉදිරි ලිපියකින් හමුවෙමු.